Thursday, April 11, 2013

අනේ අම්මේ බොන්න එපා ! ඒක වීරකමක් නෙමෙයි

 http://anithkona.blogspot.com/2012/09/blog-post_5013.html    මඟින් උපුටා ගත්තකි

"මම කවුද කියලා දන්නව ද ?" එහෙම ඇසුවේ උදෑසන සායනික වටය අවසාන වෙත්ම අප වෙත එවා තිබූ කායික වෛද්‍ය වාට්ටුවේ නේවාසික රෝගී තරුණයෙක් ගෙන්. ඊට කලින් දින කිහිපවිටක් ඔහු පරීක්ෂා කර බලා තිබුනත් ඔහුට අප ගැන මතකයක් තිබුනේ නෑ. ඔහු අප මුහුණ වත් නොබලා බිම බලන් සිටියේය.  මට ඊට දිනකට කලින් මහ පාන්දර ලැබුනු ඇමතුමෙන් කියවුනේ අසාමාන්‍ය ලෙස හැසිරෙන බොහොම කළහකාරී තරුණයෙක් කායික රෝග වාට්ටුවේ ඇඳක බැඳ දමා දැන් සිටින නිස හැකිනම් පැමිණ බලන ලෙසය. මා ගොස් බලන විට කිසිවෙකුටත් ළං වීමටවත් නොදෙමින් ඔහු ගස් බැඳි වන සතකු මෙන් ඇඳෙ ඒ මේ අත දඟලමින් සිටී. කටින් පිටවෙන්නේ කිසිවෙක්ට අහන්නට බැරි නරක වචනය. මා දමිළ බසින් එම වචන නොදැන සිටි නිසා තේරුනේ නැති නමුත් පසුව මිස් කෙනෙකු කීවේ බොහොම නරකම වචන ඔහු කී බවය. පිරිමි සේවකයින් දෙදෙනෙකු වැර වීරියෙන් ඇඳට ඔබා සිටි ඔහුට නින්ද යෑමට එන්නත් දී පරීක්ෂා කර බැලුවෙමි. ළඟින් වෑහෙන්නේ අධික මත් පැන් ගඳකි. බිරිඳ යැයි කියන තරුණිය කියන්නේ රට ගිහින් පැමිණියාත් හරි නිතරම මෙලෙස මත්පැන් සාද පවත්වන බවය. තවම තරුණ වියේ සිටින මොවුන්ගේ ජීවිත මත්පැන් නිසා අසරණ වී ඇත.  මත්පැන් මත් ද්‍රව්‍ය ගැන වෛද්‍යවරු බහුතරයක් සිටින්නේ ඒවා හොඳ නැත යන ස්ථාවරයේය. රතු වයින් සහ ඇල්කොහොල් යම් පමණකට ශරීර සෞඛ්‍යයට හොඳ යැයි කියවෙන නමුත් ඒ ප්‍රමාණය ගැන හැඟීමක් නැතිව පමණ ඉක්මවා පාවිච්චිය මගින් බොහෝ කරදරකාරී තත්ව ඇති වේ.   

බීමට ගිජු කෙනෙක් වෙත්නම් සමාවෙන්න මේ පහර ගහන්නේ ඔබේ ඒ නරක පුරුද්දටයි.
 

එකී තරුණයාම දිනකට පසු සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් බවට පත්වී ඇත. මට අඳුරගන්නටත් බැරි විය. "අපිව මතකද ? " නැවත වෛද්‍යවරු වන අපි ඇසුවෙමු. "නෑ ඩොක්ටර් මට මොකුත් මතක නෑ" " ඔබ හිටියේ දැඩි ලෙස ජීවිත හානිකර තත්වයකයි.ඒ අවස්ථාවේ නිසි ප්‍රතිකාර ලැබුනේ නැත්නම් ඔබ මරණයට පත්වෙන්න පවා පුළුවන් බව ඔබ දන්නවා ද ? " අපි ඔහුට delirium tremens යනුවෙන් හඳුන්වන එම තත්වය පැහැදිලි කර දුන්නෙමු. අධික ලෙස බීමට ඇබ්බැහි වූවන් එක දිගට මත්පැන් පානය කර අවස්තාවේදී, ඉන් මිදී ඉන්නාවිටදි ඇතිවන තත්වයකි. ඒ ගැන වැඩිපුර දැන ගන්න උවමනා නම් මෙතැනින් කියවන්න.   (Delirium tremens is mainly caused after a long period of drinking, being stopped abruptly and experiencing withdrawal, leading to the biochemical regulation cascade.) 
 
නැවත ප්‍රකෘති තත්වයෙන් පසු වූ ඔහු අපට පැවසුවේ මේ කරදරකාරී බීමත්කමින් මිදීමට ඕනෑ බවත් එය නිසා හානි වූ ඔහුගේ ජීවිතය යතා තත්වයට පත් කරගැනීමට අවශ්‍ය බවත්‍ ය. සති දෙකක් පමණ ඉන්පසු මානසික සෞඛ්‍යය ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහු නැවත ගෙදර ගියේ අලුත් මිනිසෙක් ලෙසය. 
 
මෙවැනි රෝගීන් අනන්ත අප්‍රමාණ ලෙස මා දැක තිබෙනවා. ඔවුන් සියල්ලන්ටම ඇත්තේ එකම නිදහසට කාරණාවකි... ඒ ඇබ්බැහිවිමය. මේක නැතුව වැඩක් කරන්න බෑ යන තත්වයට ඔවුන් පත්වී හමාරය. 
 
පිරිමි පමණක් නොවේ අධික ලෙස බීමත් වී සිටි ගැහැණුද හමුවී තිබේ. 
හත්දරු මවක් වන එක් කාන්තාවක් අප ඒකකයටපැමිණියේ අධික ලෙස බීමත්වය. නමුත් කණගාටු දායක දෙය නම් ඇය ඒ වන විට ගැබිණියක වීමය. ප්‍රසූති වේදනා සමග ඇය පැමිණි අතර කටින් වහනය වුනේ මත්පැන් ගඳය. ඇය කැටුව ආ සැමියාද සිටියේ බීමතිනි. අපට අනේ අපොයි කියැවිනි. ඒ මදිවාට දරුවා ප්‍රසූති කරන තෙක් බලා සිටියදී කුස තුල සිටි දරුවාගේ තත්වය බැරෑරුම් වුන නිසා සිසේරියන් සැත්කමක් කරන්නටද විය. 
 
ඔබ අසා ඇති  fetal alcohol syndrome( is a pattern of mental and physical defects that can develop in a fetus in association with high levels of alcohol consumption during pregnancy )  යන තත්වය. 

මෙය ලංකාවේ නම් ඉතා අඩුවෙන් දක්නට ලැබෙන සිදු වීමක්. මන්ද අප රටේ ස්ත්‍රීන් අතර මත්පැන් භාවිතය එතරම් වැඩි නැති නිසා. මෙවැනි දරුවෙකුගේ මානසික සහ කායික වර්ධන දුර්වලතා ඇතිවන්නේ කුස තුල වැඩෙන කාලයේ පටන්. එහෙම වෙන්නේ, මව දරුවා කුස තුල වැඩෙන කාලයේදී අධික ලෙස මත්පැනි පාවිච්චි කිරීම නිසායි. වැදෑමහ සහ මවගේ රුධිර සංසරණය අතරින් මත් පැන් මත් ද්‍රව්‍ය ඉතා පහසුවෙන් දරුවා වෙත ළඟා වන හෙයිනි. මොළයේ හා ස්නායු පද්ධතියේ වර්ධනයේ සහ ක්‍රියාකාරිත්වයට මෙන්ම මාංශපේෂි වල වර්ධනයටත් ඉන් හානි සිදු වෙනවා. තවද දරුවාගේ බාහිර ස්වරූපයෙත් ඉහත රූපයේ ආකාරයට ඇතැම් වෙනස්කම් ඉස්මතුවී පෙනෙනවා. 




මා කායික රෝග වාට්ටුවේ සීමාවාසික වෛද්‍යවරියක් ලෙස සේවය කරද්දී පාරේ වැටී සිහි නැතිව සිටියදී පොලිසිය විසින්ගෙන ආපු අම්මා කෙනෙක් සමග සිටියේ අවුරුදු එකහමාරක පමණ දරුවෙක්. ඒ අම්මා අධික බීමතින් සිහි මුර්ජාවී සිටි අතර දරුවා කිළිටි කඩමාල්ලක ඔතා සිටියා. දරුවා ඉක්මනින් ළමා වාට්ටුවට ඇතුලත් කර ඇය සතුව තිබූ බෑගයෙන් කඩදාසි මල්ලක් අපට ලැබුනා. එහි වූයේ ඇගේ දරුවාගේ හර්ද සැත්කම් කරපු බව සඳහන් කාඩ් සහ ඒ සඳහා බෙහෙත් අවශ්‍ය බවත් කියමින් හිඟාකන්නට යොදාගන්නා ලිපි ලේඛන වගයකි. දරුවා පරීක්ෂා කර බැලූ අපට එය සත්‍ය බව වැටහුනේ ඔහුගේ ළය පුරා තිබූ හර්ද සැත්කමින් පසු ඉතිරි වන විශාල කැලල දුටු විටයි.  ඒ දරුවාගේ මුහුණේද ඉහත සඳහන් කල fetal alcohol syndrome රූපයේ දැක්වූ ලක්ෂණ තිබුනා. 

පසුව ඒ අම්මා සිහි ආ විට අප සමග පැවසුවේ දරුවා ලැබෙන කාලයේ නොව ඊට පෙර සිට පවා ඇය මත්පැන් පමණක් නොවේ ඊට වඩා දරුණු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි නිසා. දැන් දරුවාගේ රෝගයේ ලිපි ලේඛන පෙන්වා ඒ සඳහා සල්ලි හොයාගන්නා බවය. ඒ දරුවා හොඳට වැඩී තිබුනේ නැත. මෙවැනි කතා ඕනෑ තරම් අප වාට්ටු වලින් ඇසේ. ජොයින්ට් එකක්, මලක් , දුම්වැටියක් වයින් බිඳක් කිව්වට මේ සියල්ලන්ගෙන්ම ඔබට පමණක් නොව ඔබේ දරුවාටත් හානි විය හැක. 

බොහෝ අය තමන් මත්ද්‍රව්‍ය මත් පැන් පාවිච්චි කරනවා පමණක් නොව එහි වින්දනය ගැන අන් අය වෙත ප්‍රචාරය කරන්න්නේ ඒක මහ ලොකු කමක්, වීරකමක් හෝ විප්ලවීය බවක් ඇති ලෙස අඟවමිනි. නමුත් යථාර්තය නම් ඔවුන් අඩු වයසින්ම රෝගීන් බවට පත් වීමය. එනිසා මත්පැන් මත්ද්‍රවය වලට ඔබේ ඇබ්බැහිවීමක් ඇත්නම් ඉන් මිදීම සඳහා සටන් කරන්න. ඒ සඳහා උපකාර ක්‍රමවේද හා වෛද්‍ය උපදෙස් සෑම රෝහලකම ඇති කායික හා මානසීක වෛද්‍ය ඒකක වලින් ලබා ගත හැකිය. මෙවැනි හානිදායක පුරුදු වලින් මිදුනොත් ඔබ සැබවින්ම වීරයෙක් ! විශේෂයෙන්ම දරුවෙක් ලැබෙන්න  ඉන්න අම්මා කෙනෙක් කොයි තරම් නම් ප්‍රවේසම් වෙන්න ඕනෙද කියා ඔබ දන්නවා ඇති. නිරෝගී දරුවෙක් බිහි කරන එක මවකගේ යුතුකමක්. ජාන විකෘති වලට අමතරව මවගේ නොහොබිනා ක්‍රියා නිසා දරුවන්ට මන්ද මානසික තත්ව ඇති වුනොත් එය කෙතරම් වේදනාකාරී ද ? 

image credit :
Drunk Pregnancy. Under Arrest. ( http://mindforums.com/38 )
Pubmed article : Alcohol and pregnancy  http://www.ncbi.nlm.nih.gov/pubmedhealth/PMH0004694/

2 comments:

  1. රමීෂා මල්, සිගා, අරක්කු ගහන එක ප්‍රමෝට් කරන කොට ඒක පස්සේ ඇඹලයෝ වගේ දුවන සෝඩා ගුනේ වගේ ස්මොකින් ෆෙටිශ් කාරයොන්ට නියම උත්තරේ

    ReplyDelete
    Replies
    1. ඔයා පවු දිල් අක්කේ...:D ඔයාම බ්ලොග් එකක් හදල කොහෙන් හරි පොස්ට් එකක් උස්සන් ඇවිල්ල දාල ඔයාම කොමෙන්ට් කරගන්නවා....:D දුක තමයි රංජනී.... නරකද මනෝචිකිත්සකයෙක් වත් හම්බුනා නම්??? :D

      Delete